Friday, November 8, 2013

CHOGM වින්දනය සහ පොදුජන නිර්වින්දනය





CHOGM ලංකාවට පැමිණීමට ඇත්තේ ටික දිනකි. මුළු ලංකාවම CHOGM පිළිගැනීමට සැදී පැහැදී සිටිති. නෙලුම් පොකුණ, හම්බන්තොට, සිගිරිය වටා නිල් මානෙල් මල් දිලේ. මර්සිඩීස් බෙන්ස් වාහන මහේශාක්‍ය ලීලාවෙන් රට වටා යයි. 138, 122, 125, 154 බස් මාර්ග විටින් විට අවහිර වන දවස වැඩි ඈතක නොවේ. ලොකු, කුඩා, බාල මහලු, සැවොම CHOGM එනතුරු බලා සිටිති. ෆ්ලෑෂ්බැක් විරු සමරු ගී ගයති. අපි බලා සිටිමු. අලුත් බස් නැවතුම්, අලුත් පාරවල්, අලුත් නගර අලංකරණ ක්‍රමෝපාය අප ඇස් ඉදිරිපිට මැවෙමින් පවතී. ලංකාව සුරපුරයක් වනු ඇත. දන මිනිසුන්ට ඇත්තේ උදම් අනන්නට ය. සංගීත සංදර්ශන නරඹන්නට ය. ඉතුරු සියල්ල CHOGM විසින් අපට ඉටු කර දෙනු ඇත. දරුවාට පාසලක්, යහ පාලනයක්, ලස්සන රටක්, නිදහස් දිවයිනක්, අලුත් ශ්‍රී ලංකාවක් රැගෙන CHOGM ඉක්මනින් එනු ඇත. එතෙක් බලා සිටිමු.

කළ යුත්තේ කුමක් ද? ගැටලුව කළ යුත්තේ කුමක්ද නොව, කළ හැක්කේ කුමක් ද යන්නයි.
චාල්ස්, කැමරන්, සිං, පැකර්, ඉසුරු රැගෙන අප වෙත CHOGM මාවත දිගේ එනු ඇත. අපට ඇත්තේ බලා සිටීමට පමණි. සියල්ල ඔවුන් විසින් අපට ඉටු කර දෙනු ඇත. ඒ නිසා CHOGM කෙලෙස පැමිණ කුමක් කරාවිද යන්න පුරෝකථනය කරන්නට අප කලබල විය යුතු නැත. මන්ද සෑම මාධ්‍යයක් ම මේ වනවිට CHOGM එන්නට ඇති දින ගණන මහත් අභිරුචියෙන් ගණනය කරමින් සිටින හෙයිනි.
---------------------------------
CHOGM යනු කවුද?

ලංකාවට එන සියලු රාජ්‍ය නායකයින් කොළඹ හා ඒ අවට තරු පහේ හෝටලවල නවාතැන් ගනු ඇත. එහෙත් චාල්ස් කුමරු වෙනත් ස්ථානයක, වෙනත් රටාවකට, වෙනම නවාතැන් ගනු ඇත. එහෙත් ඔහුගේ පැමිණීම CHOGM වෙත මහත් ආඩම්බරයකි. මන්ද?

CHOGM අපි...
- කලක්‌ චාල්ස් නියෝජනය කරන අධිරාජ්‍යයේ සුවච කීකරු වහලුන් ව සිට ලේ වැගිරීමෙන් හෝ නොවැගිරිමෙන් නිදහස ලබා ගත්තවුන් හෙයිනි.

- වින්දිතයින් ගේ පාර්ශවයේ සියල්ලන්ම නැවත එකතු වී විඳවීම මහේශාක්‍ය ලෙස සමරන බැවිනි.

- එහි ප්‍රධානියා ලෙස නැවත අධිරාජ්‍යවදියාම පත්කරගෙන ඇති හෙයිනි.

- ඔහුගේ පැමිණීම සහ ඔහුගේ යටතේ CHOGM සැමරීම අපට අපේ අතීතයේ අඳුරු සෙවනැලි ආවර්ජනය කරන හෙයිනි.

- ඔහු ආවත් ඔහුගේම ක්‍රමයකට - ඔහුගේ කාලයේ දී මෙන්ම- CHOGM සඳහා සහභාගී වන හෙයිනි.
නැවත ඔහු හෝ ඔහුගේ කිරීටය සෙවනේ සිටීම අපට අපගේ අදීනත්වය? සිහි කරන බැවිනි.

                               එහෙයින් CHOGM අපි...අතිශය වාසනාවන්තයෝ වෙමු.....

ඒ නිසාම රටම මේ වනවිට CHOGM එනතෙක්‌ බලා සිටීම අපට මේ මොහොතේ පැන නගින සියලු භෞතික සහ අධ්‍යාත්මික ගැටලු මගහරවා ගැනීමට ප්‍රත්‍යක්ෂ විසඳුමකි.

එහෙත් සියල්ලට පරව මට එක් ආසාවක් ඇත...
එනම්.............
CHOGM එන දවසට....චාල්ස් ගේ මුහුණ බැලීමටය...ඔහු CHOGM පරපුර දෙස හෙලන අධිරාජ්‍යවාදී රාජකීය බැල්ම දැකීමට ය.

එහෙයින් මමත් ඔබත්, අපත් CHOGM එනතෙක්‌ බලා සිටිමු......

No comments: